"අතමිට මුදල් තත්ත්වය හොඳ වුනොත් ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි " කියන අය , "බිරිඳගේ ගතිගුණ වෙනස් වුනොත් සතුටින් ඉන්න පුලුවන් " යයි කියන අය.. "මං වැඩ කරන ලොක්කා දැනට වඩා ටිකක් කරුණාවෙන් නම් මට දැනට වඩා සතුටින් වැඩට යන්න පුලුවන් " යයි කියන අය , "දරුවන් ටිකක් කීකරු කරගත හැකි නම් අපට කොච්චර සහනයක්ද? " යයි කියන දෙමාපියන්ද සිටිති .
අපි නිතරම ඇසුරු කරන අයකු හෝ අපෙන් පිටස්තර අයකු හෝ වෙනස් වීම අපේක්ෂා කරමු. මෙම අපේක්ෂාව නිසා අපේම මානසික වර්ධනය නතරවන බව බොහෝ දෙනා වටහා ගන්නේ නැත. අනුන්ගේ ගතිගුණ අපට ගැලපෙන අයුරින් වෙනස් වන තුරු අපගේ මානසික වර්ධනය හා වැඩීම නතර කර ගැනීමක් මෙහිදී සිදුවන්නේය. තවත් විධියකින් කිවහොත් අපගේ දියුණුව සතුට රඳා පවතින්නේ අනුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් තුල යයි කියා අපි පුංචිවී සිටිමු.
අපෙන් පිට වෙනත් අයකු හෝ අයවළුන් නිසා අපගේ ජීවිතය දියුණුව හා පැතුම් ප්‍රමාද කර ගත යුතුද ? බොහෝ අය තමන්ගේ දියුණුවට , ප්රගිතියට, සමත්වීමට පිට අයකුගේ සහය බලා පොරොත්තුවෙති. මෙය අපට හුරු පුරුදු වී සංස්කෘතික අංගයක් බවටද පත්වී ඇත. අනුන්ගේ පිනින් නිවන් දැකීමට හෝ මතු බුදුවීමට අප අදහන දෙවිවරු සූදානමින් සිටින බව අපි අදහමු. අපේ වැඩ කටයුතු පාලනය කරන්නේ ආලෝක වර්ෂ ගණන් ඈත කරකැවෙන ග්‍රහ ලෝක මගිනි.
ඉහත කී තත්ත්වයෙන් මිදීමට නවීන මනෝ විද්‍යාවේ හා සාන්දෘෂ්ඨික වාදයේ උපදෙස් අඩංගුය. පළමුව අප විසින් මූලික චේතනා දෙකක් පහළ කරගත යුතුය. පලමුවෙනි චේතනාව විය යුත්තේ අපේ ජීවිතය අප විසින්ම මවා ගන්නා බව හා ඒ ගැන වගකිවයුත්තේ තමන්ම බව වටහා ගැනීමය. ජීවිතය යනු වැඩෙන ක්‍රියාදාමයක් බව ඊලඟට තේරුම් ගෙන ජීවිතය දෙස එසේම බැලිය යුතුය . කෙනෙකුට ජීවිත දර්ශනයක් තිබීම අවශ්‍ය බව සෑම කෙනෙක්ම වටහා ගන්නාතුරු මෙම මෝහණයෙන් මිදීමට නොහැකිය.
ලාංකික අපි දියුණුව සඳහා උදාවන සෑම වාසනාවන්ත අවස්ථාවක්ම ඉතා පුදුම විදියට ලිස්සා යැවීමට දක්ෂයෝ වෙමු. අපි අපේ කාලය හොඳ වනතුරු, වැඩිහිටියන්ගේ අනුමැතිය ලබන තුරු හෝ වැසිකාලය හෝ පායන කාලය හමාර වනතුරු "අනතුරුදායක මඟ පෑදීම් වලින් " පල නෙලා ගැනීම වෙනුවට කරන්නේ අයින අල්ලා ගැනීමය.
අපේ වැරදි තීරණවලට අපි නිතරම කරුමයට ග්‍රහයන්ට හෝ අපෙන් බාහිරවු අන් කෙනෙකුට දොස් පවරමු. අපි දියුණුවීමට ඇස කවන විට අන් අයකු අපව පහතට හෙළීමට වෑයම් කරනු ලැබේ. එවිට අප කරන්නේ ඒ පුද්ගලයා සමඟ තරහා වීම, චෝදනා කිරීම වෛර කිරීම හෝ අප්‍රිය කිරීමය.
අපි වෛර කරනවිට සිදුවන්නේ වෛර කරන පුද්ගලයාගේ වහලකු බවට පත්වීමය. අපි සිතින් වෛර කරන පුද්ගලයා අල්ලාගෙන අත හැරීමට බැරිව වහලකුමෙන් දුක් විඳිමු.
අපේ ලෝකය (ජීවිතය ) අප විසින්ම මවා ගෙන සිටින ලෝකයක් බව පැකිලීමකින් තොරව පිළිගත යුතුය. එවිට අප විසින් යම් යම් වැරදි තීරණ ගැනීම නිසා හොඳ හෝ නරක තත්ත්වයක් උපත ලැබු බව අවබෝධ කර ගත හැකිය. ඊලඟට අපේ ජීවිත වෙනස් කිරීමට නොහැකි ජීවිත නොවන බව අවබෝධ කර ගත යුතුය.
අපිට දුගී දුප්පත් හා කරදර කම්කටොළු වලින් පිරුණු ජීවිතයක් ගොඩනගා ගත හැකිනම් ඊට ප්‍රති විරුද්ධ වූ සෞභාග්‍යමත් වාසනාවන්ත ජීවිතයක් ගොඩ නගා ගැනීමටද පුළුවන.
පළමු කොට අපි අපේ වැරදි නිගමනයන් නිසා වැටී සිටින පහත් තත්ත්වය පිළිගෙන ඉන්පසු හරි තීරණ හා ධන සිතුවිලි වලින් යුක්ත වීමට අධිෂ්ඨාණ කරගත් විට අප තුල ඇති චිත්ත බලය අපට යහමගට යෑමට ධෛර්යය , වීර්ය සමඟ ආශිර්වාදය ලබාදෙයි.
තමන්ගේ ජීවිතය තමන්ගේම වග කීමක් බව හොඳින් ඒත්තු ගන්නාතුරු අපේ පැතුම් ඉටුවන්නේ නැත. පැතුම් ඉටුවීමේ පළමු පියවර ජීවිතය වෙනස් අතට හැරවීමටනම් වගකීම තමන් සතු බව අවබෝධ කරගන්න .
දිවංගත සුමනදාස සමරසිංහ ශූරීන්ගේ ලිපියක් ඇසුරිනි.



great!❤️keep it up bro
ReplyDelete♥️ ජය
ReplyDelete