Skip to main content

සිනහ නොවී මෙය කියවිය හැකිනම් ඔබ දක්ෂයෙකි 😏

 අපේ පංතියේ පලවෙනියා මංගලිකාය. ඒ කියන්නේ විබාගෙන් පලවෙනියාය. මංගලිකාගේ මකන කෑල්ල හරිම සුවඳය. ඒක කේක් සුවඳය. ඒ උනාට අපිට දෙන්නේ නෑ ය. අසේලයා නං කෙල ගාල ඇඟිල්ල පොතේ උලනවාය. ඒ හින්දා වෙලාවකට උගේ සමහර අකුරු ලියවෙන්නෙ ඊළඟ පිටුවේය. පොතේ හැම හිලකටම එක ගානේ අසේලයා ගුටි කා තියෙනවා ය. ඌට කොච්චර මකන අරං දුන්නත් වැඩක් නැත්තේ ඌ මකන කෑල්ල සාක්කුවේ දමාගන්න හින්දා ය. අසේලයාගේ හැම කලිසමකම සාක්කුවේ හිල් ය. අසේලයා කිව්වේ ඌ කවදාහරි මංගලිකා කසාද බඳිනවා කියලාය. ඒ මංගලිකා ගේ මකන කෑල්ල ගන්න ය. එතකොට ඒක මටත් දෙනවා කියලා ඌ කිව්වාය. ඒක ගන්න වෙන ක්‍රමයක් මටත් හිතාගන්න බෑ ය. හොරෙන් ගත්තොත් මංගලිකා ඉවකරගෙන ඇවිත් හොරා අල්ලා ගන්නවාය. ඒ හින්දා මමත් අසේලයාගේ යෝජනාවට කැමති උනෙමු.

හැබැයි මංගලිකා ගේ තාත්තා ඒකට කැමති වෙයිද දන්නේ නෑ ය. මංගලිකා ගේ තාත්තා උපනන්ද මාමාය. උපනන්ද කිව්වේ නමය. නැත්තං ඊට වඩා ජේස්ට නන්ද කෙනෙක් හිටියේ නෑ ය. උපනන්ද මාමාට අසේලයා පේන්න බෑ ය. ඒ අසේලයා හින්දා උපනන්ද මාමා ඇලට වැටුණා කියලා හිතාගෙන ඉන්න හින්දා ය. ඒක උනේ මෙහෙමය. අපේ ගමේ ඇල හරහා ඒ දණ්ඩක් තියෙනවා ය. ඒකෙ අත් වැලට දාලා තියෙන්නේ දෙබල් දෙකකට හයි කරපු උණ ගහක්ය. හවස් ජාමේ කසිප්පු බීපු ගමේ උදවිය කරුවලේ ඒ දණ්ඩෙ ආවේ ඔය උණ ගහේ එල්ලිලා ය. අසේලයායි මායි වෙලාවකට ඔය උණ ගහ ගලවාගෙන ගිහින් ඊට ටිකක් එහායින් තියෙන ගහේ උගුරැස්ස කඩනවා ය. ඒ උගුරැස්ස ගහ කටු ඉඹුල වගේ හින්දා නගින්න බැරි හින්දා ය. එදත් හැන්දෑවේ අපි ඕක ගලවාගෙන ගිහින් උගුරැස්ස කඩමින් සිටියෝය. උපනන්ද මාමා එදා කසිප්පු බීලා හිංදි සිංදුවක් කියාගෙන ඒදණ්ඩ පැත්තෙන් ආවාය. "දේකා...හේ.... පහේලී..... බාර්........ සා.....ජනකී..... ආ...කෝ....මේ...... ප්යාර්....

ඩිස්ටි.. ඩිඩිං... ඩිස්ටි ඩිඩිං...." මාමා මියුසික් එකත් කටිංම දෙනවා ය. මොනවා උනත් උන්දැට අත්වැල නැතුව ඒ දණ්ඩෙ එන්න බැරි වෙනවා ය. ඒ හින්දා උපනන්ද මාමා බේරා ගැනීමේ පරම චේතනාවෙන් අපි උණ ගහ උස්සාගෙන එතෙන්ට දිව්වෙමි. ඉස්සරහින් දිව්වේ අසේලයාය. අපි පමා උනා වැඩිය. උපනන්ද මාමා ඩිස්ටි ඩිඩිං මියුසික් එක දානකොටත් ඒ දණ්ඩට ගොඩවෙලා ඉවරය. "අබුජාකේ ආ.." කියාගෙන අත්වැල පැත්තට බර උන උපනන්ද මාමා "ආ...." කියාගෙනම ඇලට වැටුණාය. "යාමෙරේ...." කෑල්ල ඇහුනේ ඇලෙන් ය. හැබැයි වැටෙන්න කලින් උපනන්ද මාමා අසේලයා උණ ගහ අරගෙන ඉන්නවා දැකලා තිබුනා ය. අනිත් කොණ අල්ලාගෙන හිටපු මං දකින්න තරං උපනන්ද මාමා පිං කරලා තිබුණේ නෑ ය.

මංගලිකා ගේ අම්මා මල්කාන්ති නැන්දා ය. සමහරු නං එයාට නෝබොඩි කියනවාය. ඒක උනේ එදා අබේ මාමා එල්ලිලා මැරුණ දවසේදිය. පාන්දර එතන ගමේ හැමෝම වටවෙලා හිටියාය. සමහරු මූණ හෝදලා වත් හිටියේ නෑ ය. ගෑණු උදවිය නයිටිය පිටින් ම ඇවිල්ලා ය. පොලිස් ජීප් එක ඇවිත් නැවැත්තුවේ හරියටම මල්කාන්ති නැන්දා ඉස්සරහාමය. ඒකෙන් බැහැපු ඕ අයි සී මහත්තයා "කෝ බොඩිය?" කියලා මල්කාන්ති නැන්දාගෙන් ඇසුවාය. හීහ්... ගාපු මල්කාන්ති නැන්දා අත් දෙකෙන්ම පපුව වහගෙන ගෙදර දිව්වාය. ඕ අයි සී මහත්තයා ඒක දැනගත්තු හැටි ගැන අපි පුදුම උනාය. එතුමා හොරකම් අල්ලලාම දැක්ක ගමන් එහෙම දේවල් පේනවා ඇතැයි මම හිතාගත්තෙමු. අනිත් ගෑණු උදවියත් ඕ අයි සී මහත්තයා මගෑරලා ගියා ය. අපේ ගණන් සර් ඇවිත් "මේ පැත්තේ සර්" කියලා මළකද තිබ්බ පැත්තට ඕ අයි සී මහත්තයා එක්කරගෙන ගියා ය.

ගණන් සර් බීඩි දිසානායක ය. බීඩී කිව්වේ බන්දුල දහම් කියන එක මිසක් සර් බීඩි බිව්වේ නැති ය. සර්ගේ ජන්මාන්තර වෛරක්කාරයෝ අසේලයායි මායි ය. ඒ සර් කියන විදියට අපි සර්ව ගුරු මණ්ඩලේ ටීචර්ලා ඉස්සරහා නිරුවත් කලා කියලා ය. ඒක අපි හිතලා කෙරුවා නෙවෙයි ය. එක අතකින් සර්රුත් ඒකට වැරදි කාරයෙක් වෙමුය. ඒක සිද්ධ උනේ අවුරුදු නිවාඩුවට පස්සේ ය. අසේලයා තුන් හුලස් රතිඤ්ඤයක් ගෙනත් තිබුණා ය. අපි දෙන්නා ම ඊට  කලින් එව්වා පත්තු කරලා නැති ය. අපි දෙන්නා ඒකත් අරගෙන ඉස්කෝලේ මිදුල කෙලවරට ගියෝය. එතන  ඉඳන් පහලින් තිබුණ වැසිකිලිය උඩින් රතිඤ්ඤෙ පහලට විසිකරන්න පුළුවන් ය. එතකොට ඒක අපි දාපු එකක් නෙමෙයි වගේ වෙනවා ය. අසේලයා රතිඤ්ඤා කරල අරගෙන ගිනිපෙට්ටිය මට දුන්නා ය. මම නූල පත්තු කෙරුවෙමු. වැසිකිළි ගියත් එකට යන ටීචර්ලා කාණ්ඩෙම අපි දන්නේ නැතිවම එතෙන්ට ඇවිල්ලාය. පත්තුවෙන රතිඤ්ඤා කරල අතේ තියාගෙන ඉන්නත් බැරි ය. කලබලේට අසේලයා රතිඤ්ඤා කරල වීසිකලාම ඒක වැටුනේ වැසිකිලියේ වහලෙ උඩටය. තුන් හුලස් රතිඤ්ඤා අනිත් ඒවාට වඩා සද්දය. රතිඤ්ඤා කරල ඩෝං ගාලා වැසිකිළි වහලෙ උඩ පුපුරද්දී කලිසමක් අතිං ඇරගෙන ඒකෙං එළියට පැන්නේ ගණන් සර්ය. ටීචර්ලා කෑ ගහගෙන ආපහු දිව්වා ය. මමයි අසේලයයි කෑ ගහන් නැතුව දිව්වෙමි. ගණන් සර් නං කොහෙවත් දිව්වේ නැති උනාට එක දිගට කුණුහරුප කිව්වාය. කොහොම උනත් ලොකු ඉස්කෝලේ මහත්තයා ට පාර්ශව තුනම එක්කාසු කරගෙන නඩු අහන්ට බැරි උනා ය. ගණන් සර් එනකොට ඇසින් දුටු සාක්කිය උන ටීචර්ලා එන්නේ නෑ ය. ටීචර් ලා එනකොට සර් එන්නේ නෑ ය. අපි නං දිගටම හිටියේ විදුහල්පති කාර්යාලයේ දනගහගෙන හින්දා හැම වෙලාවෙම සිටියෝය. ලොකු ඉස්කෝලේ මහත්තයා නං අපිට ගැහුවේ නැති ය. ඒත් අපේ තාත්තා ඇවිත් අසේලයාටයි මටයි දෙන්නටම ගහලා ගියාය. අසේලයාගේ තාත්තාද ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියාය. ලොකු ඉස්කෝලේ මහත්තයා ටොයිලට් යනකං ඉදලා ගණන් සරුත් ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියෝය. ටීචර්ලා ටික ඇවිත් ගහන්න කලින් ඉස්කෝලේ ඇරියේ අපේ වාසනාවට වෙන්ට ඕනෑය.

✍ උපුටාගැනීමකි 

සියළුම ගෞරවය මුල් හිමිකරැ සතුයි. 

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...