Skip to main content

නිරෝගී සිතක් වර්ධනය කරගන්න


නිරෝගී සිතක් ඇති අයකු හඳුනාගන්නේ කෙසේද? මූලික වශයෙන් නිරෝගී සිතක් ඇති පුද්ගලයා අනුන්ගේ දිරි ගැන්වීමක් නැතිව ධෛර්යය සම්පන්න අයකු වේ. ඔහු හෝ ඇය බියකින් පසු නොවන නිසා තම අවට ලෝකය දෙස විමසිලිමත්ව බලයි. සංසුන්භාවය හා කඩිසරකම ඔවුන් තුළින් දැක ගත හැකිය.

අලුත් දෙයකට, නාඳුනන අයට හෝ අලුත් පළාතකට මුහුණ දීමට පුළුවන. හරි ගියත් හරි නොගියත් යමක් වෑයම් කොට අත්හදා බැලීමට බියක් නැත. පාඩුව, අලාභය මෙන්ම වාසිය හා ලාභය ඉවසා දරාගත හැකිය. සෑම දෙයක්ම කළින් සිතා මතා සැළසුම් කිරීම අවශ්‍ය නැත. මේ අය වෑයම් කර බැලීමට බිඳකුදු බිය නැත. ඔහු යමකින් අසමත් වුවහොත් ඊළඟ වාරයේ හොඳින් කිරීමට පරාජයෙන් යම් අත්දැකීමක් ලබන්නෙකි. මොවුන් තුළ බොරු ආඩම්බරයක් නැත. අසමත් වීම, පරාජය හෝ ලජ්ජා විඳින්නට සිදුවීම නිසා තම ජීවිතය විනාශ වන්නට මොවුහු ඉඩ නොදෙති.

තම හැකියාව ගැන ආත්ම විශ්වාසයක් නිරෝගී මනසක් ඇති අයකුට තිබේ. ඔවුහු පහසුවෙන් කළබලයට පත් නොවෙති. තමන්ගේ චිත්ත ආවේග පාලනය කරන්නට බැරිවීම ගැන මොවුහු බිය නොවෙති. අඬන්නට සිදුවන තැන ඇඬීම ද සිනාසෙන්නට හෝ තරහ පෙන්විය යුතු තැන එසේ කිරීමට ද මොවුන් තුළ බියක් නැත. අනතුරුදායක හදිසි අවස්ථාවන්ට ගෞරව කරන නමුත් යම් සිද්ධියක් විශාල කොට හුවා දැක්වීමට නොයයි. ඒවා මහා විනාශයකින් කෙළවර වේ යයි මොවුහු සිතන්නේ නැත.

මානසික නිරෝගීතාවයකින් යුත් පුද්ගලයා යථාර්තවාදියෙකි. ඔහු දවල් සිහින දකින්නේ නැත. යමක් සිදුවූ පසු එය අර විදියට හෝ මේ විදියට වෙනස්විය යුතුව තිබුනා යයි කීමට මොහුට බැරිය. ඔහු යමක් නොමිලයේ ලැබීමට බලාපොරොත්තු නොවේ. කාලය, ශක්තිය, හා මුදල්වල සීමාව ගැන ඔහු දනී. තමන්ට හැම දෙයක්ම කරන්නට බැරි බව දන්නා නිසා ඔහු කරන්නේ තමන්ට වැදගත් යයි සිතෙන දේවල් පමණි. අනුන්ගේ විවේචනවලට බියෙන් යමක් අකුරටම කරන්නට ඔහු තම කාලය වැය නොකරයි. ඔහු තමන්ගේ උපරිම දක්ෂතාවය, උනන්දුව හා උද්‍යෝගය තරමට කටයුතු කොට සෑහීමකට පත්වන්නෙකි.

හේතුඵල ධර්මය පිළිගන්නා අය මානසික නිරෝගීතාවයෙන් යුක්ත අයයි. මුදල් වැය කරමින් මුදල් ඉතිරි කිරීමට බැරි බව ඔවුහු දනිති. නියමිත වේලාවට යම් තැනක සිටිය යුතු නම් වේලාසනින් එහි යා යුතු බව මානසික රෝගීන් නොවන අයට කියාදීමට අවශ්‍ය නැත. ශරීරයේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් කෑම අඩුවෙන් අනුභව කළ යුතු යයි තමන් ම වටහා ගනිති. හැම කෙනෙක්ම දන්නා මෙකී දේවල් පිළිගෙන ක්‍රියාත්මක කරන්නේ මනස නිරෝගී අය පමණි.

මානසික නිරෝගීතාවයෙන් යුත් පුද්ගලයා දියුණු කළ හැකි දේවල් දියුණු කිරීමට වෑයම් කරයි. හොඳ වෑයමකින් හා දිරිමත් කිරීමකින් බොහෝ ජයග්‍රහණ ලැබිය හැකි බව ඔවුනට වැටහේ. නිරෝගී සිතක් ඇති පුද්ගලයා තමන්ගේ සීමාව දන්නෙකි. තම දුබලකම් ගැන ඔහු කළබලවන්නේ නැත. ඔහු තමන්ගේ උස වැඩිකම හෝ මිටි තරබාරුකම ගැන හෝ නාසයේ හැඩය ගැන තැවෙන්නේ ද නැත. අනුන්ගේ උසස් ගති හා දක්ෂකම් අගයන මොහු තමන්ගේ උසස් ගති ගැන ද සතුටු වෙයි.

නිරෝගී මනසක් ඇති පුද්ගලයා තුළ සැහැසි ගති නැත. ඔවුහු "මගේ වැරදීම ගැන සමාවන්න" යයි කීමට සිදුවන වැරදි කරන්නේ නැත. "මගේ ඉස්සර වැඩ ගැන මම ආඩම්බර වන්නේ නැහැ. මට ඒවා ගැන ලජ්ජාවකුත් නැහැ" යි කියන්නේ නිරෝගී අයෙකි.

මොවුහු මෝරපු අදහස් සහිත විනයගරුක අයයි. හොඳ යයි සිතෙන දේවල් තමන්ට සිතෙන අයුරින් වෙනස් කිරීමට පසුබට නොවෙයි. ගතානුගතික අදහස් වහා අත්හැර දැමීමට ඕනෑම වෙලාවක සූදානම් ය. තමන්ගේ පැවැත්මට ගුණදායක නම් කවුරු මොනවා කීවත් පැරණි සම්ප්‍රදාය හෝ සිරිත් විරිත් වෙනස් කරන්නේ නැත. අවශ්‍ය යයි හැඟෙන බොහෝ දේවල් කපා කොටා පිළිගැනීමට හා ක්‍රියාත්මක කිරීමට මැළි නොවේ.

ආහාර, විනෝදය හා කාමය ඇතුළු අන් අයට නැතුවම බැරි දේවල් මර්දනය කොට ඉවසා දරා සිටීමට හැක්කේ මානසික නිරෝගීතාවයක් ඇත්තාටය. අතේ ඇති වැඩේ හමාරකොට මිසක් කෑමට යන ගතියක් නැත. ඔහු යමක් කරන්නේ අන් අය කරන නිසා හෝ අන් අයකු අනුකරණය කිරීමට නොව තමන්ට ඕනෑ විදියටය.

මානසික නිරෝගීතාවයෙන් යුත් සෑම අයකුම තමන් තුළ යම් හැකියාවක් හෝ දක්ෂකමක් ඇතිකර ගැනීමට දැඩි ඕනෑකමක් දක්වයි. ඔවුහු එසේ දක්ෂකම් වර්ධනය කොට විශාල සතුටක් ලබති. අනුන්ගේ ඉත්තන් බවට පත් වී රූකඩ මෙන් අන් අය කියන දේවල් කරන්නේ ද නැත. අන් අයට සවන් දෙන අයුරු බලා සිටින විට මේ අය අනුන් කියන දේවල් සහමුලින් ගිල දමනු ඇතැයි සිතේ. එහෙත් නිරෝගී පුද්ගලයා සිහි නුවණින් යුතුව අසා සිට එවැනි සිහි නුවණක් ඇතිව කටයුතු කරන්නෙකි.

තමන්ට කරන්නට ඇති දෙයක් ඔහු කරන්නේ ඉමහත් සතුටකිනි. වෙහෙස මහන්සි වීම නිසා කෙඳිරිගෑමක් හෝ අඬාවැඩියාවක් ඔහු නොකරයි. මොවුහු වැඩ කටයුතු මෙන්ම ඉතා ඕනෑකමකින් යුතුව කෙළිසෙල්ලම් වලද යෙදෙති. මානසික රෝගීන්ට වැඩ කටයුතු මිස කෙළිසෙල්ලම් බැරිය. සමහර රෝගීන්ට කෙළිසෙල්ලම් හා විනෝදය මිස වැඩ කටයුතුවල නිරත වීමට නුපුළුවන. රෝගී නොවන අයට මේ දෙකම එක සේ කළ හැකිය.

නිවැරදි තීරණයක් ගැනීමට හැකිවීම මානසික නිරෝගීතාවයේ ලක්ෂණයකි. අන් අය තුළ දයාව, අනුකම්පාව බහුලව ඇත.

නිරෝගී පුද්ගලයා තුළ බහුලව ඇත්තේ නුවණයි. ඔහු හදවතට හා මොළයට එකඟ වූ තීරණ ගන්නෙකි. පිස්සු බල්ලෙකුට වුවද අනුකම්පාව දැක්විය යුතුය. එහෙත් එය හදවතට සමීප වූ ක්‍රියාවකි. මොළයට එකඟව නම් පිස්සු බල්ලා විනාශ කර දැමිය යුතු යයි නිරෝගී මනසක් ඇති පුද්ගලයා තීරණය කරයි.

තමන්ගේ ප්‍රශ්න අවුලෙන් අවුලට පත් කරගන්නේ මානසික දුබලකමකින් පෙළෙන්නෙකි. නිරෝගී පුද්ගලයා නිතරම අවුල්වලට විසඳුම් සොයයි. ප්‍රධාන ප්‍රශ්නය මූලික අසහනය විසඳා නොගෙන හැමදෙයක්ම එකවර විසඳා ගැනීමට බැරි බව ඔවුහු දනිති.

මානසික නිරෝගීතාවයෙන් යුත් අය අතර අන්තවාදීන් නැත. වැඩිදෙනා පිළිගත් පලියට අද්භූත මිථ්‍යා මත පිළිගැනීමට ඔවුහු ඉක්මන් නොවෙති. කොපමණ ධෛර්යවන්ත වුවත් මොවුහු කළබලකාරයෝ නොවෙති. අරපරිස්සම ඇතත් ලෝබ නැත. නැමෙන සුළු වුවත් කොන්ද කෙළින් ය. එනම් බොරුවට හා චාටුවට දෙකට තුනට නැමෙන්නේ නැත. තේජස් ගති පෙන්වන නමුත් අහංකාර නොවේ. මානසික නිරෝගී බවේ ලක්ෂණයක් නම් ආත්ම ගෞවරය හා තමන්ගේ වටිනාකම අවබෝධ වීමයි. නිරෝගී මනසක් ඇති පුද්ගලයා තුළ හොර බොරු වංචා කිසිවක් නැත.

තමා පහත් කර ගැනීමට කැමති නොවන නිසා ඔහු අනුන්ට දොස් පවරන, නින්දා අපවාද වන විදියේ කතා නොකියයි. ඔහුට වසන් කරගැනීමට තරම් නරක චරිතයක් නැත. ඔහුට අවශ්‍ය නම් ඔහු කරන දෙය එළිපිටම කරයි. අන් අයගේ මඩ ගැසීම්වලින් චංචලවීමක් නැත.

තමන්ගේ කුලය, දුගී දුප්පත් පසුබිම, දෙමාපියන්ගේ තත්ත්වය, නෑයන්ගේ උස්මිටිකම් ආදිය ගැන ඔහු තැකීමක් නොකරයි. ඔහු තුළ දරුණු මමත්වයක් නැත. ඉරිසියාව අඩු අය සිත නිරෝගී පුද්ගලයෝ වෙති. බොරු ගොතා කීම, එක දෙක කර කීම, අනුන්ට මඩ ගැසීම, තමන්ට බැරි දෙයක් අන් අයකු කරන විට ඒ අයට ඉරිසියා කිරීම හා හොරකම් කිරීමට සිත ඇදී යෑම ඔබටත් තිබේ නම් ඒවා එකින් එක බලවත් ඕනෑකමකින් ජය ගන්න.

නිරෝගී මනසක් ඇති කරගැනීම සඳහා ඇති කැපවීම, දුක් කරදර ඉසිලීම හා නැති බැරිකම් ඉවසා දරා සිටීම අවශ්‍ය වේ. මනස නිරෝගී වූ සැණින් දුම්බීම, මත්පැනට ගිජුවීම හා වෙනත් පුරුදු හා ඇබ්බැහිවීම් ජයගැනීමට ශක්තිය ලැබේ.


දිවංගත සුමනදාස සමරසිංහ ශූරීන්ගේ

මනස සඟරාවෙන් උපුටාගත් ලිපියකි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...