ඉතා සුළු දෙයකට වහා කිපෙන මිනිසුන් අතර උගත් බුද්ධිමත් අය අඩුය.වහා කිපෙන සෑම කෙනෙක්ම බුද්ධියෙන් අඩු කෙනෙකි. උගත්කම තිබෙන වැඩි දෙනා තුළ බුද්ධිමත් භාවය නැත.
මිනිසා බුද්ධියෙන් මෝරන විට හැලුන බොහෝ දේවල් අතර ඉක්මන් කෝපයද එකකි. ලෝකයේ නොදියුණු රටවල වහා කිපෙන අය අධිකවේ. එයට හේතුව ඒ රටවලට ශිෂ්ඨාචාරය තවම ලඟා නොවීමයි. ඉපැරණි ශිෂ්ඨාචාරකට අයත් මිනිසුන් සිටිය හැකිය. එහෙත් දියුණුවන කාර්මික හා වාණිජ ලෝකයට ඉපැරණි ශිෂ්ඨාචාරකින් වැඩක් නැත.
නවීන ශිෂ්ඨාචාරයේ අවශ්‍යම අංගයක් වනුයේ ඉවසීමයි. අශිෂ්ඨ මිනිසා ඉතා සුළු දෙයට හෝ වචනයක් වැරදීම නිසා කෝපයෙන් දිලිසෙයි. තමන්ගේ මාන්නයට හානිය වූ විගස ඔහුගේ මානසික සමබරතාවය නැතිවෙයි. මාන්නය ඇත්තේ අධික මමත්වයෙන් පෙළෙන මානසික දුබලයන් ළඟය.
ඔබේ කෝපය ඉහවහා යන්නේ කව්රු මොනවා කී විටද ? ඔබව නැටවිය හැකි වචන මොනවද? ක්‍රියාවන් මොනවද? වරක් මා දේශනයකට පිට පළාතකට ගියෙමි. එහි නතරවීමට නවාතැන්, හොටෙල් හෝ තානායම් නොතිබුණි. එම නිසා ගමේ ධනවතාගේ නිවසේ මට ලැඟුම් ගන්නට සිදුවිය.
උදේ නමයට පමණ මම දේශනයට යාම සඳහා සුදානම්වී සිටියෙමි. ඒ අතර වයස දහය දොළහ අතර කුඩා ළමුන් තිදෙනෙකු මා සිටි කාමරයට පිටින් වත්තේ ඇවිදින බව පෙනුනි. “අපේ අම්මා නටන හැටි දැකලා තියෙනවද?” කියා එක් දරුවෙක් අනෙක් අයගෙන් ඇසිය. ඒ ප්‍රශ්න කළ දරුවා ඒ තිදෙනා අතරින් වැඩිමලා ලෙස පෙනුනි. මා ඔවුන් දෙස ජනේලයෙන් බලා සිටින බව ඒ දරුවෝ නොදත්හ.
“කොහොමද අම්මා නටන්නේ ?” කුඩා දැරිය ඇසුවාය. “ඔන්න බලන්න”, යයි කී ඔහු ගලක් ගෙන වත්ත පහලින් තිබු නිවසේ ටකරන් වහලයට ගැසිය. ඒ සමඟම එම නිවසින් එලියට ආ කාන්තාවක් ගලගැසූ එකාගේ මවට, පියාට හා හතර වරිගයටම හොඳ හොඳ වචන වලින් සංග්‍රහ කළාය. ගල ගැසුවේ තමන්ගේම දරුවා බව ඇය දැන සිටියා නම් තමන්ටම ඒ විදියේ හීල් දානයක් දෙන්නේ නැත.
තමන්ගේම දරුවා තරම් තමන්ගේ හැටි වෙන අයකු දන්නේ නැත. අම්මා නටන අන්දම තම යහළු යෙහෙළියන්ට කුඩා කළම ඒ දරුවා පෙන්වා දුනි. ඇය නැටුවේ මගේ දේශනය ඇසීමට යෑම සඳහා සාරියද අඳිමිනි.
අපේ රට වැනි දුගී දුප්පත් රටක ජනයා වහා කිපෙන අය වීමෙන් රටට වන විපත ඉමහත්ය. කෝපය ඇවිස්සීම යනු උණුසුම් වචන පිටවීමකි. උණුසුම් වචන වලට යහපත අයහපත හෝ හොඳ නරක වැටහීමක් නැත. ඒ නිසා අතට අසුවන ඕනෑම දෙයකින් අන් අයකුට තුවාල හෝ මරණය සිදුකළ හැකිය. දඬුවම් කිරීමට හා ආත්ම ආරක්ෂාවට යන දෙකටම අපේ අත හා සිත දුවන්නේ අවි ආයුධ දෙසටය.
කෝපයට පත්වූවන් ජාති දෙකකට අයත්වී නම් හෝ ආගම් දෙකකට හෝ කුල දෙකකට අයත් වී නම් එය ගමේ ප්‍රශ්නයක් නොව රටේ ප්‍රශ්නයක් බවට පත්වීමට පවා ඉඩ තිබේ. මේවා නිසා වැය වන කාලය, රස්තියාදුව අපතේ යන වැඩකරන පැය ගණන හා වියදම් කිරීමට සිදුවන මුදල එකතු කළහොත් රටේ දියුණුවට කොපමණ බාධා සිදුවේ දැයි සිතාගත හැකිය.
අප රටේ වැඩිදෙනා මළපහ කිරීම සඳහා නියම ස්ථානය වෙනුවට වචන පිටකරන ස්ථානය තෝරා ගෙන සිටිති. ශරීරය තුලින් පිට කරන සෑම දෙයකින්ම සුවය ලැබේ. මේ නිසා කැත වචන කටින් පිට කරමින් මළපහ කිරීමේදී ලබන සැහැල්ලුව ලබන මානසික රෝගීන් සිටිති.
දිවංගත සුමනදාස සමරසිංහ ශූරීන්ගේ ලිපියක් ඇසුරෙනි.
Comments
Post a Comment