Skip to main content

විශේෂ අයකු වන්න...



යම් අංශයකින් දක්ෂ අයකුට දෙවියන් යයි කියමින් වැඳීම හා පිදීම පැරණි අයගේ සිරිත විය. එසේම බිහිසුණු අපරාධකළ අය ඈත අතීතයේදී හැඳින්වුයේ යක්ෂයින් ලෙසටය.

හොඳ හෝ නරක දෙයකට දක්ෂවූ පලියට හෝ බිය නැතිවූ තරමට එම පුද්ගලයාට වැඳීම පිදීම අද සිටින මිනිසා නොකරයි. අප අතර සිටින වීරයන් හා වීරවරියන් මනුෂ්‍යන් මිස භූත හෝ දේව ආත්මයන් නොවේ. ඔවුනට දේව හෝ භූත ආරූඪයන්ද නැත. එහෙත් අපට වඩා ඒ අය බැබලෙන්නේ මන්ද? අප ඒ අයට වඩා ගතිගුණ හෝ මොළය පාවිච්චි කරන විදියෙන් පහත් තත්වයක සිටින බැවිනි.

අපේ හිස්බව අප තේරුම් ගන්නේ නැත. අපි නිතරම බලන්නේ අපට වඩා උසස් අය තුළ ඇති හිස්බව පමණකි. එක අරමුණක් හා ඒ අරමුණ සාර්ථක කරගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය ඇති අයකු සාමාන්‍ය හිස් අය අතර කැපී පෙනෙන විශේෂ අයෙකි. එවැනි අයකු තුළ මිනිස් ගුණ ධර්ම අඩු විය හැකිය. ඔබ සිතා සිටින අන්දමේ ගුණ දහම් පුරන්නෙකු නොවන එම පුද්ගලයා තුළ ඇති සුවිශේෂ ගුණය ඔබ ළඟ නැත. එහෙත් ඔබ එය පිළිගැනීමට සුදානම් නැත.

ඔබට අරමුණක් තිබුණි. දැන් එය වෙන අතකට යොමුවී ඇත. ඉදිරිකාලය තුළ එය තව දහදොළොස් වතාවක් වෙනත් අරමුණු වලට මාරුවිය හැකිය. එසේ නම් ඔබට අරමුණක් තිබී නැත. අරමුණක් වෙනස් වන්නේ ඉෂ්ඨවීමෙන් පසුවය.

අරමුණ හා අධිෂ්ඨානය කෙනෙකු විශේෂඥයකු බවට පත්කරයි. මහජනයා එම විශේෂඥයා සුවිශේෂ අයකු ලෙස සලකන්නේ නොදන්නා අඥානකම නිසාය.

මෙය ලියන මා පුවත්පත් කලාවේදියෙකු ලෙස දීර්ඝකාලයක් සේවය කර ඇත්තෙමි. අපට අපේ සේවා කාලය තුළ අගමැතිවරු, ජනාධිපතිවරු හා රජවරු ඇතුළු ප්‍රභූන් මෙන්ම සුප්‍රසිද්ධ නළු නිලියන්ද හමුවී, මිත්‍රවී කතාබස් කරන්නට අවස්තාව ලැබී තිබේ. අප දෙස බලන අය සිතුවේ අපි ඉතා වාසනාවන්ත විශේෂ අය හැටියටය. එහෙත් අප මෙන්ම (ඇතැම් විට අපට වඩා) එවැනි ප්‍රභූන් සමඟ ඉතා කුළුපඟව සිටීමට ඒ උතුමන්ගේ නිවෙස් වල සේවය කළ සේවකාදීන්ටද ඉඩකඩ ලැබුණි. ඔවුන්ද අප මෙන් විශේෂ අයද?

වීරයන් පිදීම අන්ධානුකරණයකි. එයින් පුදන්නාට යහපතක් සිදුනොවේ. එහෙත් තමන්ද එවැනි වීරයකු වීමට අධිෂ්ඨාන කරගතහොත් එය ඉටුවීමට ඉඩ ප්‍රස්ථාවන් උදාවන්නේය.

ඔබේ සිත වැඩකරන අන්දම දැනගැනීමට වෑයම් කරන්න. බොහෝ විට තමන් හරියයි කියා සිතන හා තීරණය කරන සිතුවිලි වැරදි බව තමන්ට වටහා ගැනීමට බැරිය.

සිත සකස්කර ගැනීමට කරුණු විස්තර කරදීම පමණක් ප්‍රමාණවත් නොවන බව අවුරුදු පහළොවක් සිත ගැන කරුණු පැහැදිලි කරදුන් අයකු හැටියට මට කීමට පුළුවන. මානසික දුබලකම් ජයගැනීමට මාවෙත පැමිණි බොහෝ දෙනා දේශනයකට සවන්දී මානසික සුවයක් ලැබ පිටවී යති. එහෙත් තමන් පෙළෙන දුබල සිතුවිල්ලක් ජය ගැනීමට දේශනයකට සවන්දීමෙන් හෝ සාකච්ඡාවකට සහභාගිවීමෙන් නුපුළුවන. අතු කපාදමන ගසකින් නැවත අළුත් අතුරිකිලි පැන නගින්නාක් මෙන් දුබල සිතුවිලි වෙනත් වෙස් මුහුණු පැළඳගෙන තමන් පෙළන්නට වෙයි.

ඉරිසියාව, තණ්හාධිකකම හා අනාගත සුරක්ෂිතභාවය ගැන පහළවන බිය තමන්ගේ සිත පෙළන දුබලකම් ලෙස හඳුනාගත නොහැකිය. ඇතැම් කාන්තාවන් ඉහතකී විදියේ කපාදමන ලද අතු වෙනුවට අළුත් රිකිලි මතුවීම නිසා මානසික වේදනාවන්ගෙන් පෙළෙන රෝගීන් බවට පත්වී සිටිති.

දුබලකම් ජය ගන්නේ ඒවාට එරෙහිව නිතර නිතර පහළ කරගන්නා සිතුවිලි වල ආධාරයෙනි. පැන යෑමෙන් හා මුහුණ වසාගෙන සිටීමෙන් මානසික දුබලතා යටපත් කරගත නොහැක.

සුමනදාස සමරසිංහ ශූරීන්ගේ 

පසුගිය මනස සඟරාවකින් උපුටාගත් ලිපියකි. 

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...