ගට්ස් යනු බඩවැල්වලට ඉංග්‍රීසියෙන් කියන නමයි. අපි එයට ගට්ස් කියා යෙදුවේ තරුණ පෙළ නිතරම 'ගට නැහැ යනුවෙන් කියන නිසාය. මෙහි නියම අර්ථය ධෛර්ය නැහැ. එඩිතරකම නැහැ, නැත්නම් බයයි යන්නයි.
අපට තරහ යන්නේ ඇත්ත හෙළිවූ විටද? බොරුවක් ගොතා මඩ ගැසූවිටද? නින්දාවට පත් වූ පුද්ගලයා නිතරම පවසන්නේ තමන්ට එරෙහිව බොරු ගොතා ප්‍රචාරය කර හරින බවකි. බොරුවක් ගෙතීමට කෙනෙකුට ඕනෑ කරන්නේ ඇයි? මෙය තමන්ට යම්කිසි ක්‍රමයකින් සිදුවූ සිත් රිදීමක් හේතුකොටගෙන මතුවන ද්වේෂය නිසා ද?
බොහෝවිට මිනිසුන්ට ‘ගට්ස්' නැතිව යන්නේ පරපුරුෂ හෝ පරස්ත්‍රී සේවනය හා සම්බන්ධ ප්‍රශ්ණ පැන නැගුන විටය.
නොබෝ කලකට පෙර විදේශීය රටක පූජකවරයකු සිය තනතුරෙන් ඉල්ලා අස්විය. එයට හේතුව තමා සහ තම ලේකම්වරිය අතර සබඳකමක් ඇතැයි කියා පැතිර ගිය ආරංචිය හා චෝදනාවට ගරු කිරීමටය. ඉල්ලා අස් නොවී එවැන්නක් නැතැයි කියා බොරු කීමට ඔහුට ඕනෑතරම් ඉඩ තිබුණි. එහෙත් ඇත්ත පිළිගැනීමට පූජකවරයාට 'ගට්ස්' තිබුණි.
තර්ජනවලට බිය නිසා හෝ හිරේ වැටී දඬුවම් විඳින්නට වීමෙන් මිදී දඬුවම ලිහිල් කරගැනීමේ අපේක්ෂාවෙන් ඇත්ත පිළිගන්නා අය සිටිති. එය ගට්ස් තිබීම නොවේ. ගට්ස් නැතිකමයි. බිය නිසා ඇත්ත හෙළිකිරීම එඩිතරකමක් විය නොහැක.
තමන් පිළිබඳ ඉතා සුළු වරදක් පවා අනුන් දැනගන්නවාට ඉමහත් බියකින් පසුවන අය සිටිති. අනුන්ගේ අඩුපාඩු කම් හා අශික්ඛිත ක්‍රියා ගැන විමසිලිවන්ත වන්නේ එවැනි බියගුල්ලන් ය.
පව්කාරයාට ගල් ගැසීමට පෙර තමන් ළඟ සිහිනෙන්වත් එවැනි පවක් නැද්දැයි සිහිපත් කරගත යුතුය.
දුබලකම් හෝ දුසිරිත් සඟවාගෙන සිටීම මානසික සුවයට ඉමහත් බාධාවකි. මනා පෞර්ෂයක් කෙනෙකුට නැත්නම් හේ යම් වරදක් රහසින් කරන අයකු වීමට පුළුවන. රහසින් වැරදි වැඩ නොකරන අයකු නැත. ඒ බව හොඳින් දන්නා උගතුන් හා බුද්ධිමතුන් අනුන්ගේ කරුණු සෙවීම නොකරති. වැරදි වැඩ හා රහසින් කරන වැරදි වැඩ අතර විශාල වෙනසක් තිබේ. එළිපිට හා කිසිවකුට බිය නැතිව වැරදි වැඩ කරන පුද්ගලයා මානසික රෝගියෙකු නොවීමට ඉඩ තිබේ. ඔහු තමා කරන වැරදි වැඩය හැමෝම රහසින් කරන බව දන්නා ගට්ස් ඇති අයකු විය හැකිය. එහෙත් රහසින් වැරදි ක්‍රියාවන් හි නිරත වන්නේ ගට්ස් නැති මානසික රෝගියකු වීමට පුළුවන.
ගිහි පැවිදි කියා භේදයක් නැතිව ධනවත් හා බලවත් අයගේ ජීවිතවලට එබී බැලීමට පිටස්තර අයට ඉඩකඩ නැත. එසේ තමන්ගේ පෞද්ගලික ජීවිතවලට එබී බැලීමට ඉඩදීම නිසා යුරෝපීය ජාතිකයකු සායි බබාගේ ලිංගික ජීවිතය යනුවෙන් පොතක් ද ලියා තිබේ. බොහෝ රජ පවුල්වල මාලිගාවේ රහස් දන්නා සේවකයන් විසින් රක්ෂාවෙන් පැන්නූ පසු මඩ ගසන පොත් ලියති. එය කියවන්නාගේ විනෝදයට හේතු වනු ඇත. එහෙත් ඇත්ත වශයෙන් ඒවාට සම්බන්ධ අයට ඒ ගැන කිසිදු හැඟීමක් නැත.
ඇතැම් මිනීමැරුම් නඩුවලදී හෙළිවන කරුණු ඉතා නොහොබිනා වැඩ හටියට මිනිස්සු පිළිගනිති. ඒවා හෙළිවීමෙන් ඒ අයට ලජ්ජාවේ පණ යන්නේ නැත. මෙහිදී උගත් බුද්ධිමත් හා නූගත් මෝඩ යන ජන කොටස් දෙක අතර මෙම කරුණු ගැන විෂම ආකල්පයන් පහළ වේ. ආකල්පය කුමක් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ලම මිනිසුන් සමග වැලලී යති.
බාල කාලයේ පටන් ඇත්තට මුහුණ දීමට හැකි දරුවන් හැදීම දෙමාපියන්ගේ යුතුකමකි. ඇත්ත වසන් කරන්නට හුරු පුරුදුවන දරුවා මතු කලෙක සමාජය ඉදිරියේ ගට්ස් නැති බියගුල්ලකු වැන්නේය.
බියගුළුකම, ඇඹරෙන ගතිය හා මුහුණ එළියෙන් රතුකර ගැනීම වැනි ඉතා අල්ප වූ අසහනයන්ට මුහුණදීමට බැරි වැඩිහිටියකු සමාජය ඉදිරියේ ඉතා අසරණ අයෙකි. නායකයන් වීමට හා පාලකයන් වීමට හැකි උගත්කම හා පසුබිම ඇති බොහෝ අය තමන්ගේ බොරු ලජ්ජාව ජයගත නොහැකිව කොන් වී සිටීම ජාතික අපරාධයකි. එවැනි අයට තමන්ගේ ඕනෑකමින් එවැනි සුළු බියක් හෝ සැකයක් ජයගත නොහැක.
ඉහත දැක්වූයේ දරුණු මමත්වය මිනිසුන් පුංචි කර හකුලා තබන අන්දමයි. නින්දා අපහාසවලට බියේ දිවි නසාගන්නා අය සිටින සමාජයක ඔබ සහ මම ජීවත්වෙමු. දිවි නසා ගැනීමට ධෛර්යයක් තිබෙන අයට නින්දා අපහාසවලට එඩිතරව මුහුණ දීම ඉතා පහසුය.
"නව නින්දාවේ ජීවත්වෙනවාට වඩා මැරෙන එක හොඳයි" කියන අය සමාජයේ අදත් සිටිති. මෙය පරම්පරාවෙන් එන හා ඊළඟ පරම්පරාවට මාරු කරන්නට හදන මිථ්‍යාවකි. සමාජය දක්වන ආකල්පය වෙනස් වනතුරු පව්කාරයාට ගල් ගැසීම වෙනස් නොවේ.
එම නිසා මෙයට කළ යුතු පිළියම කුමක්ද? මනෝ විද්‍යාඥයන්ගේ තීරණය හා ප්‍රතිකාරය නම් ඕනෑවට වඩා හිතට ගැනීමෙන් වළකින්න යන්නයි.
ඔබ පමණක් නොවේ. ඔබට පෙරත් ඔබෙන් පසුවත් එඩිතරකමක් නැති බියගුල්ලන් ලොවේ සිටියහ. මතුවට ද සිටිනු ඇත. ඒ ඒ සිදුවීම්වලට මුහුණ දෙන්න. බිය වී පලායෑමට යමක් ඉතිරි නොවනු ඇත.
යම් අයකුට බියවන්න එපා යයි කීම පහසුය. එහෙත් එම උපදේශය අසන පුද්ගලයාට එය පිළිපැදීම පහසු නැත. පුරුද්දක් ජයගැනීමට හා පුරුද්දක් කරගත් සිතුවිලි ක්‍රමයක් වෙනස් කිරීම උපදෙස් ලැබීමෙන් කළ නොහැක. සිත තුළ තද කරගෙන සිටින පීඩාකාරී සිතුවිල්ලකින් කෙනෙකු නිදහස් වන්නේ කෙසේද? මෙම ලිපියේ මුල හරියේ සඳහන් වූ විස්තරයට නැවත සිත යොමු කරන්න.
නින්දාවකට බියවීමට වඩා එය හෙළිවීමෙන් තමන්ට සිදුවන පාඩුව හෝ අයහපත කුමක්ද? අන් අයගේ කටවල් නැවැත්වීමට අපට පුළුවන්ද? මෙය කියවන ඔබ නින්දා සහගත වැඩක් කිරීමට පෙළඹුනොත් එයට මෙම ලිපියෙන් රුකුලක් නොලැබේ. මෙයින් ඔබ ලබන්නේ වැටී සිටින වලකින් ගොඩ ඒමට අතදීමකි. සිත තුළ නිධන්ගත කරගෙන සිටින පීඩනයකින් ඔබේ ආයුෂ හීන වෙයි. එය පිටවීම නිසා ඔබ ලබන අසහනය අසාධාරණ අහේතුක පීඩාවකි. එයට මුහුණදීමට බිය නොවන්න.
නින්දාවක් යයි තීරණය කරන්නේ කවුද? ඕනෑම නව නින්දාවක් ටික කළකින් වැලලී යයි. එයින් පීඩාවක් විඳින්නේ දුබල අයයි. ඕනෑම දෙයකට ඔරොත්තු දීමට ඔබට 'ගට' ඇත. පුංචි වී හැකිලීමට තීරණය කරන්නේ හෝ කෙළින් සිටීමට තීරණය කරන්නේ ඔබමය. ඔබේ තීරණය ඔබ නිදහස් කරන තීරණයක් විය යුතුය.
චිත්ත ධර්ම විද්‍යා පත්‍රයෙන් උපුටාගත් ලිපියකි.

Comments
Post a Comment